Tuesday, July 31, 2018

ගොළු හදවත.

නුඹත් නිහඬයි
මමත් නිහඬයි
ඒත්
ඔබේ දෑස්
මගේ දෑස් සහ
දෙ හදවත් නිරන්තර දොඩමළුයි.
කියන්න දම්මි...
ආදරෙයිද මට
තව මොහොතක් එපා
ගොළු හදවත හිර කරන්න.....


Friday, July 27, 2018

මගේ ඇසින්...

මගේ ඇසින් 
ලොව දනින්න.

කෙටි කතාව.

සෙතක් නොවූ ශාන්තිකර්මය.
(සත්‍ය කතාවක් ඇසුරෙනි.)


‘හෙලෝ සර්, අද නැටුම් පන්ති තියෙනවද?’
‘ඔව් ළමයෝ ළමයි සේරටම කියන්ඩ හවස 4ට එන්ඩ කියලා’
‘හා හරි සර්’
ඇමතුම විසන්ධි කළ නුවන්ගේ ඊළඟ ඇමතුම වූයේ තම මිතුරා වූ සඳුන් වෙතය. ඒ අද හවස නැටුම් පන්තිය පැවැත්වෙන බව මිතුරන් සියලු දෙනා දැනුවත් කිරීමටය. හවස 4 වන විටත් ළමුන් සියලු දෙනා පන්සල වෙත රැස්ව සිටියහ. කෙල්ලන් කොල්ලන් තැන් තැන්වල කියවමින් සිටින අතරතුර කර කර නාදයෙන් ඉතා අමිහිරි වූ ශබ්දයක් හා දුමක් නංවමින් පරණ මෝටර් බයිසිකලයක් ඔවුන් ඉදිරියේ නතර  කලේ  දරුවන් සියලු දෙනා නිහඬ කරවමිනි. සුඛෝපභෝගී මෝටර් රථයක් නන්දරතන ගුරුතුමා සතුව පැවතියද කෙටි ගමන් බිමන් සඳහා තම පැරණි මෝටර් බයිසිකලයම භාවිත කරයි.

මහව කලාප අධ්‍යාපන කාර්‍යලයේ ප්‍රධාන උපදේශක ලෙස කටයුතු කරන නන්දරත්න ගුරුතුමා ප්‍රදේශයේ කීර්තියක් දිනා ගත් පුද්ගයෙකි. ඔහු රැකියාවට අමතරව කලා ආයතනයක් පවත්වාගෙන යමින් දරුවන්ට නැටුම් ඉගැන්වීම සිදු කරයි. වාර්ෂිකව වෙස් තැබීමේ මංගල්‍යයක් පවත්වමින් ගමින් ගමට යයි. ඔහු සෑම වර්ෂයකම දරුවන්ට වෙස් තබන නිසා එය දැන් ව්‍යාපාර මට්ටමින් කරගෙන යන අතර වෙස් කට්ටලයේ ආභරණ හා ඇදුම් සඳහා විශාල මුදලක් වැය වන අතර, ගම්බද දරුවන් හා දෙමාපියන් ඒ පිළිබඳව වැඩි විස්තර නොදන්නා නිසාත් නන්දරත්න ගුරුතුමා  තවත් ව්‍යපාරිකයන් කීපදෙනෙකු සමඟ එක්ව  තමාගේ අතට වැඩි වාසියක් අත් වන ආකාරයට මෙම ගණුදෙනුව සිඳුකර දෙයි. රැකියාවට අමතරව කලායතනය පවත්වාගෙන යාම නිසාත්, වසර කීපයකට වරක් පවත්වන කංකාරි මඩුව නිසාත්, ඔහු තම ආදායම දෙගුණ තෙගුණ කර ගනී.
ළමයි සියලු දෙනා ධර්ම ශාලාව වෙත පැමිණ නර්ථන පුහුණු ඇදුමින් සැරසී නර්ථන පුහුණුව සඳහා “ තෙයියතත් තෙයියත් තෙයියතත් තාම්......” ලෙස අවසර ගනී. පුරුදු ලෙස නන්දරත්න ගුරුතුමාගේ ආදි සිසුන් වූ නුවන් හා සඳුන් පැමිණෙයි. ඔවුන්ගේ බෙර වාදනයෙන් හා ගුරුතුමාගේ නැටුම් ඉගැන්වීම් මගින් නවක සිසුන් පුහුණු කරනු ලබයි. මෙසේ පැමිනෙන ආදි සිසුන් හා ගුරුතුමා වේතනයක් නොගන්නා අතර නවක සිසුන්ගේ දෙමාපියන් විසින් හවස තේ පානය හා රාත්‍රී ආහාරය සැපයෙයි.

“ළමයි මම මේ අවුරුද්දේ කංකාරි මඩුව කරන්ඩයි ඉන්නෙ. ගිය අවුරුද්දේත් කරන්ඩ බැරිවුනා. මේ සැරේ හරියටම කරන්ඩ ඕනා. ඔයාලත් එනඩ ඒක බලන්ඩ.”
“කවද්ද සර් ඕක තියෙන්නේ..” සර්ගේ කතාව නොඉවසිල්ලෙන් අසා සිටි නුවන්ගේ පැනය විය.
“ලබන මාසේ විසිපස් වෙනිදා. මම දිනයක් බැලුව. මම මුදියන්සේ ගුරුන්නාන්සේ ටයි, කොතලාවල සර්ටයි, හුලුගල්ල මහත්තයටයි සේරටම කියලයි තියෙන්නේ. නුවන් ඔයාලා විසි හතර වෙනිදා  අතරගල්ල පන්සලට එන්න කංකාරි මඩුව හදන්ඩ.”
“ආ.... මට තව කොල්ලො ටිකක් ඕන, ටිකට් ඔක්කොම ගහල තියෙන්නේ. ඒවා දන්න දන්න අයට විකුනගන්නත් ඕන. මට මේ වැඩේ ගොඩ දාන්ඩ උදවුවක් දීපල්ල. මම් සලකනවනේ උබලට. ඕනනම් කංකාරි මඩුවෙ නටන්ඩත් දාල දෙන්නම්”
“හා... හරි සර් අපි ඉන්නවනේ...” යනුවෙන් නුවන් පැවසුවේ නැටුම් ඉගෙනගත් දා පටන් පොත්වල කියවා තිබූ කංකාරිය සැබෑ ලෙසම අත්දැකීමේ රිසියෙනි.
සිතුවාටත් වඩා වේගයෙන් විසිහතර වෙනිදා උදා වූයේ නුවන් ඇතුලු කොල්ලන් පිරිසට රාජකාරි ගොඩක් පවරමිනි. අතරගල්ල පන්සල පුරාවට එදින ලහි ලහියේ ඉදිවන කොහඹා යක් කංකාරි මඩුව  කොල්ලන්ට අලුත් අත්දැකීමක් විය. නන්දරත්න ගුරුතුමාගේ උපදේශන යටතේ  කංකාරි මඩුවේ දෙපැත්තට මුහුණලා යහන සහ අයිලය සැකසුණි. තවද සෑම කණුවකටම කෙසෙල් ගස් තබා ගැට ගැසීමත්, මඩුවේ වියන ලෙස අන්නාසි,අඹ, කෙසෙල් වැනි පළතුරු එල්ලීම සඳහා ගම්මුන්ගේද සහය ලැබුනේ මෙම කංකාරිය කිරීම තුළින් ගමටත් රටටත් සෙත් ශාන්ති හා සෞභාග්‍යය උදා වන බව නන්දරත්න ගුරුතුමගේ කියමනකට අනුවය. මේ සියලු කටයුතු හමාර වූයේ විසි පස්වන දා හවස් යාමය ද උදා කරමිනි.
කංකාරිය බැලීමට පැමිණි සියලු දෙනා හවස හත වනවිට අදාළ අසුන් වෙත පැමිණවීමෙන් අනතුරුව. ආරාධනා කොට ගෙන්වාගත් මුදියන්සේ ගුරුන්නාන්සේ විසින් සියලු දෙනා බලාසිටි කොහඹා යක් කංකාරිය ආරම්භ කරන ලදි.

“ ආයිබෝ වේවා....   කළ සෙත් මුදුන් වේවා.....
දෝස දුරු වේවා....     සක්‍ර මහ බඹු ආයුබෝවා....”

පන්දම් එළි ආලෝකයෙන ද  කන් දෙදටවන බෙර නාදයෙන් ද කංකාරි මඩුව ගිගුම් දුන්නේය.

මිහින්තලය අට සැට ලෙන සේල චෛත්‍යා වෙහෙරට         
අඹතලාව මිරිස වැටිය භයාගිරිය නම්          වෙහෙරට                                                                
ජය සිරිමා රුවන් වැලිය  ථූපාරාමේ                වෙහෙරට                                                               
අටමස්ථානේ හිටියත් වඩින්න දෙවි මල්           යහනට 
 
යනාදී ලෙස දේව ආරාධනය කංකාරි මඩුව තුළ කොහොඹා යක් කංකාරිය සිඳුවන අතරතුර “ සර් අද නටන්නේ නැද්ද” ලෙස නුවන්  විමසූයේ  මුදියන්සේ ගුරුන්නාන්සේ කවි කියනාසැටි බලාසිටි නන්දරත්න ගුරුතුමාගෙනි. “ නෑ කොල්ලො මම් අද නටන්නෙ නෑ. මේ අනිත් වැඩ ටික බලන්න ඕන. හා... මම් තව ටිකකින් යනව ගෙදර කට්ටිය  එක්කන් එන්න. තාම හඟල යැදීමනේ තියෙන්නේ. 

යනුවෙන් පවසා නන්දරත්න ගුරුතුමා එතැනින් පිටත් විය.  ඊට අඩහෝරාවකට පමණ පසු ඔහු නැවත කංකාරි මඩුව වෙත පැමිණියේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනාද සමඟය. ශාන්තිකර්මයේ අනෙකුත් අංග වූ  මුව මල විදීම, ඌරා යක්කම ආදිය,  ශාන්තිකර්මයේ ප්‍රධාන ආතුරයන් වූ ගම්වාසීන් මෙන්ම එය නැරඹීමට පැමිණි  සියලු දෙනා ඉතා උනන්දුවෙන් රසවින්දහ. මේ සියල්ල සිඳුවන අතරවාරයේ නන්දරත්න ගුරුතුමා තම පවුලේ අය ගෙදර ඇරලැවීමට පාන්දර හතරට පමණ ගෙදර ගියේය. ඒ යන විටත් ඔවුන් කිසිදා නොසිතූ දෙයක් තම නිවස තුළ සිදුවී හමාරය. නිවස සොරු රැලක් විසින් බිද දමා තිබිණ. ඒ දුටු නන්දරත්න ගුරුතුමාට කිසිවක් කර කියා ගත නොහැකිව මොහොතකට තනි වූයේය. ගෙදර තිබූ වටිනා ආභරණ ආදිය මෙන්ම බඩූ මූට්ටු රැසක්ම ඒ වන විටත් කොල්ල කා හමාරය. නන්දරත්න ගුරුතුමා එවෙලේම පොලිස් හදිසි ඇමතුම් අංශය ඇමතීය. පසුව කංකාරි මඩුවටත් මේ බව දැනුම් දෙන ලදි. ඒ මොහොතේ පටන් ශාන්තිකර්මය අවුලෙන් අවුලට පත් වූයේ නර්තන ශිල්පීන් කංකාරිය අතරතුර නන්දරත්න ගුරුතුමාගේ ගේ නිවස වෙත යාම හේතුවෙනි.  පරීක්ෂණ කටයුතු හමාර කරන විටත්  පසුදින පෙරවරු හත පමණ විය.  නිසා නන්දරත්න ගුරුතුමාගේ ප්‍රමාදය ගැන බලාසිටි කංකාරි මඩුවේ ඈයෝ  කංකාරිය යාන්තම් අවසන් වූ පසු පාන්දර විසිරී යන්නට විය.
නන්දරත්න ගුරුතුමාට එය කබලෙන් ලිපට වැටුනා වැන්නේය. කංකාරි මඩුව අවට අලෙවි සැල් දමා සිටි උන්ගෙන් ලැබිය යුතු ලාභය ද අහිමි විය. එපමණක් නොව කංකාරි නැරඹීමට ආ පිරිසට විකිණීම සඳහා සූදානම් කර තුබූ පොත් රැසක් විකුණා ගැනීමට නොහැකිව ඉතිරි විය. තවද වීඩියෝ සහ ඡායාරූපකරුට මුදල් අත්තිකාරම් ගෙවා තිබුණ නමුත් ඔහු ආ ගිය අතක් සොයා ගැනීමට නොහැකි විය. නන්දරත්න ගුරුතුමා තම ජීවිත කාලය පුරාවට හරි හම්බ කරගත් දෑ එක රැයින් නැතිවිය. ඔහුගේ හොඳ සිහිය ද නැතිවිය. අමතර ආදායමක් ලෙස ලාභ ලැබීම සඳහා කල ශාන්තිකර්ම ද  තම ජිවිත කාලයටම මතක හිටින යමක් ඉතිරි කරන ලදි. අනතුරුව කංකාරි මඩුවට ගිය මූලික වියදම් ඔහුට අතෙන් ගෙවීමට සිදුවිය.
නන්දරත්න ගුරුතුමාට සිදුවූ මේ විපැත්තිය ගැන, නුවන් ඇතුලු කොල්ලන් රැළ විසින්  පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේ දැනුවත් කල මොහොතේ පැවසුවේ ඔහු මීට පෙර කරන ලද  මුදල් වංචා  හෝ පෙර කරන ලද පාප කර්ම හේතුවෙන් මේ තත්ත්වය උදා වී ඇති බවයි.

ප්‍රදේශයේ සිටි ධනවතෙක් මෙන්ම කීර්තිමත් පුද්ගලයක් ලෙස නම දිනා සිටි නන්දරත්න ගුරුතුමා එම ශාන්තිකර්මයෙන් පසු බන්කොලොත් මිනිසෙකු බවට පත්විය.







Saturday, July 14, 2018

වැටත් නියරත් ගොයම් කා නම් ?




“මල් කියන්නෙ කාට කාට

ළමයින්ටයි පාට පාට "
මල් වගේ පුංචි ළමයින්ට අපි හැමෝම ආසයි. එයලගෙ අව්‍යාජ කිරි හිනාව දකින්න අපි කැමතියි. ඒ වගේම තමයි එයාල කිසිදෙයක් නොදන්න මේ සමාජයට අනුයෝජනය වෙන්නෙ ආරය සහ පරිසරය කියන මූලික කරුණු මත. ඒ කියන්නෙ දෙමව්පියන් සහ පරම්පරාවෙන් දරුවාට උරුම වන දේවල් සහ ඔහු ජීවත් වන පරිසරය හෙවත් සමාජ වටපිටාව. ඉතින් මේ විදියට සමාජයට දායාද වන දරුවන් ආරක්ෂා  කිරීමේ වගකීම පැවරෙන්නේ ඔව්න්ගේ දෙමාපියන්ට හා සාමාජයේ සියලු දෙනාට. ඉතින් මේ වගකිවයුත්තන්ගේන් ඒ කාර්‍ය නිසියාකාරව ඉටුවෙනවාද?

මල් වගේ පුංචි ළමයි සතුටින් ඉන්න නම් ඔව්න්ගේ කායික හා මානසික සෞඛ්‍ය  යහපත් අන්දමින් පවත්වාගෙන යා යුතුය. දරුවෙකුට බිලිදු වියේ සිටම මව් කිරි ලැබීම අනිවාර්යය. නමුත් වර්තමානයේ මව්වරුන් කර්ය බහුල නිසා මව් කිරි වෙනුවට පිටි කිරි වර්ග භාවිතයත්, සමබල ආහාර වේලක් වෙනුවට පාන්, බනිස්, නූඩ්ල්ස් රසකාරක යෙදූ පැණි බීම  වැනි වැනි කෘතිම ආහාර වරුවන්ට ලබා දීම නිසා දරුවන්ගේ කායික සෞඛ්‍ය පිරිහෙමින් පවතී. මේ සදහා වගකිව යුත්තේ දරුවන්ගේ සමීපතමයන් වන දෙමාපියන් නොවේද.

ඒ වගේම තමයි දරුවන්ගේ මානසික සෞඛ්‍යය යහපත් අන්දමින් පවත්වාගෙන යාමද වැදගත් කරුණකි. ඔවුනට තමන්ගේ ළමා ලෝකය නිදහසේ අත්විදින්නට ඉඩකඩ සලසා දිය යුතුය. පාසලෙන් අමතර පන්තියටත්, අමතර පන්තියෙන් නිවසට පැමිනි මොහොතේ පටන් රෑ නින්දට යන තුරුම පැවරුම් හා අභ්‍යාස කිරීමටත් දරුවන්ට සිදුවී තිබේ. ඔවුනට දුව පැන ඇවිදින්නට හෝ වර්තමාන නිවාස තුල ඉඩ කඩ නැති වීමද අභාග්‍යකි. මේ පිලිබඳ දෙමව්පියන් වගකිව යුතුය. තවද කුඩා දරුවන්ට උචිත පරිදි මේ අධ්‍යාපන සැලසුම් සැකසීම රජයේ හා සමාජ බලධාරීන්ගේ ද වගකීමකි.

ඉතින් මා මෙම කතාබහෙන් අවධාරණය කරන්නේ දරුවන්ට ආරක්ෂාව ලැබිය යුතු පාර්ශවයන්ගෙන් ඒ කටයුත්ත නිසියාකාරව ඉටු නොවන බව පෙන්වා දීමයි. ඔවුන් ආරක්ෂා කල යුතු සියලු බලවේග විසින්ම ඔවුන්ගේ එම අයිතිවාසිකම උල්ලංඝනය කිරීම කේදවාචකයකි. එසේ වීම මගින් අතෘප්තිකර මානසිකත්වයන්ගෙන් යුතු දරුවන් බිහි වීම හා සම්ප්‍රදායෙන් බැහැර වූ ක්‍රියාකාරිත්වන් ඇති පුද්ගලයන් ඉදිරි සමාජය භාර ගැනීමයි. එය මේ පවතින තත්ත්වයට වඩා භයානක බව අපට හැගෙන විට වැරදි නිවැරැදි කිරීමට තරම් හැකියාවක් නොතිබේවි. ඒ නිසා අද පටන් කුඩා දරුවන් සම්බන්ද කරුනු වලදී දෙවරක් සිතා කටයුතු කිරීම අගනේය.


Monday, July 9, 2018

සූර පප්පල   ජිම් පප්පල
රෝමන් කාරයෝ බිම දාද්දි...
වෙද පප්පගෙ අරිෂ්ඨ කල්දේරමට
අපි හැමෝම ආස කලා...
කූබිච්චිගෙ විසදුම් වල
නුවණ හොදට පිරිල තිබුන....
දොස්තර හොඳ හිත සොයාන
පිස්සු පූසො දුවල ගියා....
කෝලිකුට්ටු සහෝදරයෝ
සොයුරු පෙමත් කියල දුන්න....
අනේ ඉතින් දැන් ළමුන්ට
පොත පත මිස නෑ නිදහස
අමතර පන්තියකි හවස.




ලැවීනියා


ලැවීනියාවේ  සැගවුණු ලැවීනියා  


ල්කිස්ස වෙරළ තීරය ආදරවන්තයන්ගේ සොදුරු කොදෙව්වක්. මෙහි ඇවිද යන ඔනෑම කෙනෙකුට එක් පසකින් පෙනෙන මවුන්ට් ලැවීනියා හෝටලය සුලබ දසුනක් බොහෝ ආදරවන්තයන්ගේ සුසුම් මූදු හුළගට එක් වෙද්දී අතීතයේ එක් දවසක ලොවීනා නම් රොඩී කෙල්ලද තමන්ගේ ආදර සුසුම මේ ගල්කිස්ස රළු මූදු හුලගට මුසු කළ බව ඔබ දන්නවාද .

වසර ගනණක් යටගිය මේ ආදර  කතාව මොහාන් රාජ් මඩවල විසින් ලියන ලද “ ලොවීනා “ නව කතාව හරහා නැවතත් කරලියට පැමිණ ඇත. වර්තමානයේ ගල්කිස්ස වෙරළ තීරයට යාබදව තේජාන්විතව නිල් අහස කරා විහිදී ගිය මවුන්ට් ලැවීනියා හෝටලය  අතීතයේ තෝමස් මෙට්ලන්ඩ්  ආණ්ඩුකාරවරයාගේ නවාතැනයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ මෙරට පාලනය සදහා ඔහු පැමිණ ඇති අතර ලංකාව සුන්දර රටක් නිසා ඔහු   තම බලකොටුව ඉදිකිරීමට ඉතා රමනීය බිම් කොටසක් තෝරා ගත්තේය. මෙට්ලන්ඩ් ආණ්ඩුකාරවරයාගේ සිත සොරා ගත්තේ  සුන්දර වෙරළ තීරය පමණක් නොව එහි විසූ රොඩී තරුණියක්ද ඒ අතර විය. ඇය නමින් “ලොවීනා“ විය. ආණ්ඩුකාරවරයා ඇයට බොහෝ ප්‍රේම කර ඇත. තම බලකොටුවේ රහස් දොරටුව හරහා ගොස් තම ආදරවන්තිය මුන ගැසුන බවට වර්තමාන ලැවීනියාව ශාක්ෂි දරයි.

   
   රෝමියෝ ජුලියට්, ජැක් රෝස්, වැනි සුප්‍රකට ආදර කතා සේම අපට සමීප ප්‍රමිලා දස්කොන්, ද්ම්මි සුගත් වැනි ආදර කතා කදුලකින් නිමා වූවා සේම  ලොවීනා හෙවත් ලැවීනියාගේ හා ආණ්ඩුකාරවරයාගේ ආදර කතාව ද කදුලකට මුසු වූයේ ගල්කිස්ස වෙරළේ හැපෙන මූදු රළ බිදී විසිරී යන පරීද්දෙනි. ආණ්ඩුකාරවරයාගේ බ්‍රිතාන්‍ය ගමනත් සමග ගල්කිස්ස වෙරළේ ආදරය වෙනුවෙන් තනිවූ පෙම්වතිය සැබෑ ලෙසම ප්‍රේම කලේ ආණ්ඩුකාරවරයාට නොව තම රැහේම ස්වදේශික හදවතකට බව ලොවීනා නව කතාව කියවූ ඔබ දන්නවා ඇති. නමුත් තෝමස් මෙට්ලන්ඩ් ඇයට සැබැවින්ම ආදරය කලා. එම ආදරයේ සංකේතය වර්තමාන ලැවීනියවයි.  ලාංකීය සුවහසක් පෙම්වතුන්ගේ පෙම් කතා මුසු වුන ගල්කිස්ස මූදු වෙරළ නිහඬවම ඒ පෙම් කතා අසාසිටිනවා.....

යලිත් අපි මේ වගේම ලිපියකින් නැවත මුන ගැහෙමු.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය.

මොකක්ද මේ Monkeypox හෙවත් වඳුරු උණ වසංගතය. වර්තමාන ලෝකයම බියට පත් කළ Monkeyfox හෙවත් වඳුරු උණ වසංගතය පසුගිය Covid - 19 රෝගයට වඩා බරපතළ රෝග ල...